Sunday, January 23, 2011

එන්න එන්න එන්න එන්න එන්න..... සිංහ පැටව් රඟ දෙනවා බලන්න......

2011, 10වන ලෝක ක්‍රිකට් ශූරතාවය සඳහා තවත් ඇත්තේ මසකටත් අඩු කාලයකි. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක් කාණ්ඩ 2ක් (A,B) යටතේ තරඟ වැදීම සඳහා සූදානමින් පසුවෙති. පැවැත්වීමට නියමිත තරඟ ගණන 49කි. තරඟාවලිය පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 2වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවට කීප අයුරකින්ම වැදගත් වේ. ඉන් පළමුවැන්න වනුයේ තරඟාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය යන දකුණු ආසියතික රටවල් මූලික කරගෙන පැවත්වීමය. දෙවැන්න වනුයේ මෙම තරඟාවලියේ ශූරයන් වෙනවායැයි විවිධ පුද්ගලයින් පළ කරන අනාවැකි අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීමයි. තෙවැනි කරුණ වනුයේ මීට පෙර දකුණු ආසියාකරයේ පැවති (1996 දී) ලෝක කුසලාන තරඟාවලිය ජය ගැනීමට ලංකාව සමත් වීමය. වැදගත්ම කරුණ වනුයේ මෙවර මුළු ශ්‍රී ලංකාවම එකම ධජයක් යටතේ අපගේ ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීමය. ඒ අපගේ වීරෝධාර හමුදාවන් 30 වසරක ශාපලත් යුද්ධය නිමකර තිබීම නිසාය. ඒ පිලිබඳව අපගේ ගෞරවය මෙම අවස්ථාවේ ආරක්ෂක අංශ වෙත පළකර සිටිමු. 

තරඟවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මේවන විටත් නම් කළ අවසන්ය. ඒ බැරෑරුම් වගකීම භාරවී තිබුණේ අරවින්ද ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටය. අරවින්ද ද සිල්වා පිලිබඳ ව ලාංකිකයන්ට විශේෂයෙන් පැහදිලි කිරීම අවශ්‍ය නැත. අවසන් 30 දෙනාගේ සංචිතය නම් කිරීමෙන් අනතුරුව පැවත්වූ අන්තර් සමාජ සීමිත පන්දු වාර ක්‍රිකට් තරඟාවලියේ දක්ෂතා මත අවසන් 15දෙනා තේරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. මාගේ අදහස අනුව ලෝක කුසලාන තරඟවලිය සඳහා සුදුසුම කණ්ඩායම මෙම කණ්ඩායමයි. (විවිධ පුද්ගලයින්ගේ විවේචනද මෙම කණ්ඩයමට එල්ල වී ඇත.)

2007 වසරේ බටහිර ඉන්දිය කොදෙව්හි පැවති 9වන ලෝක ශූරතාවයේදී අනුශූරයින් වූ ශ්‍රී ලංකාව මෙවර ඉතා ප්‍රභල කණ්ඩායමක් ඉදිරිපත් කර ඇතයි යනු මාගේ හැඟීමයි. කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි හිමිවී ඇත්තේ කුමාර් සංගක්කාර හටය. ඔහුගේ දක්ෂ කඩුලු රැකීම මෙන්ම දර්ශ්නීය පිතිකරණය ද මෙවර දැකගත හැකිවනු ඇත. උප නායක්ත්වය හිමිව ඇති මහේල ජයවර්ධනගේ පිත්තද ලකුනු සොයා යනු ඇතැයි අපි සිතමු. තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංග 1996 සනා-කලූ සුසංයෝගයේ අඩුව මෙවර පුරවනු ඇත. තිලාන් සමරවීර, චමර සිල්වා, චමර කපුගෙදර කණ්ඩායමේ මැද පෙළ සවිමත් කරනු ඇතැයි ක්‍රිකට් ලෝලීන්ගේ පැතුමයි. ඇන්ජලෝ මතිව්ස් හා තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්ව ඇත. ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනන්දු මේවර වේග පන්දු බල ඇණියට එක්ව ඇත. ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස් හා රංගන හේරත් දඟ පන්දු යවන්නන් ලෙස පිටියේ දස්කම් පානු ඇත. 

බොහෝ දෙනා මවිතයට පත්කරමින් නවක, මෑත කාලයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් දෙපොළක් වන දිනේෂ් චන්දිමාල් හා සුරාජ් රන්දිව් මෙම අවසන් 15 දෙනා අතර සිටියේ නැත. ඒ පිලිබඳ විවිධ මත පළවූ අතර ඒ පිලිබඳ මාගේ අදහස ප්‍රකාශ කිරීමට කැමත්තෙමි. දිනේෂ්  චන්දිමාල් පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නෙකි. ඔහු තරඟයක ක්‍රීඩා කරන විට සංගාට හෝ චන්දිමාල් හට පිටියේ පන්දු රැකීමට සිදුවේ. එය කණ්ඩායමක් ලෙස අවාසියකි. (තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ ස්ථනයක් අහිමි වේ.) රන්දිව් දක්ෂ දකුණතින් දඟ පන්දු යවන්නෙකි. නමුත් දකුණතින් දඟ පන්දු යවන පූර්ණකාලීන පන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායමේ සිටින නිසා වමත් දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමත්ට වැදගත්ය.(1996 දී සනාගෙන් ඉටු වූ සේවව ඔබට මතක ඇතයි සිතමි.)

කෙසේ වෙතත් 2011 ක්‍රිකට් කිරුළ නැවතත් ලංකාවට හිමි කරදීමට අපගේ කණ්ඩායමට හැකි වේවායි අපගේ මෙන්ම සමස්ථ ලාංකිකයන්ගේම පැතුමයි!!!!.


තරඟ වදින කණ්ඩායම්
A කාණ්ඩය - ඕස්ට්‍රේලියාව, කැනඩාව, කෙන්යාව, නවසීලන්තය, පකිස්ථානය, සිම්බාබ්වෙ, ශ්‍රී ලංකාව

B කාණ්ඩය - බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්

තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ
  • Eden Gardens Stadium - Kolkata, India (82000)
  • R. Premadasa Stadium - Colombo, Sri Lanka (35000)
  • Feroz Shah Kotla Stadium - New Delhi, india (48000)
  • Muttiah Muralidharan International Cricket Stadium - Kandy, Sri Lanka (35000)
  • Sardar Patel Stadium - Ahmedabad, India (50000)
  • Chittagong Divitional Stadium - Chittagong, Bangladesh (20000)
  • M.A. Chidambaram Stadium - Chennai, India (46000)
  • Sher-e-Bangla Cricket Stadium - Dhaka, Bangladesh (35000)
  • Wenkhede Stadium - Mumbai, India (45000)
  • Mahinda Rajapaksa International Stadium - Hambantota, Sri Lanka (37000)
  • Panjab Cricket Association Stadium - Mohali, India (35000)
  • Vidarbha Cricket Association Stadium - Nagpur, India (45000)
  • M. Chinnaswamy Stadium - Bangalore, India (42000)